Tuesday 1 November 2016

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනය

1948 වර්ෂයේ දී ශ‍්‍රී ලංකාවට නිදහස ලැබීම මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. ඒ සමඟ ම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණුඩුක‍්‍රමය ලැබුණු බැවින් නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය මගින් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමේ අවස්ථාව ලාංකිකයන්ට හිමි විය. 1972 හා 1978 යන වසරවල නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හඳුන්වා දීම මගින් දේශපාලන ක්ෂේත‍්‍රයේ තවත් වෙනස්කම් රැසක් සිදු විය. 

සෝල්බරි ප‍්‍රතිසංස්කරණ හා නිදහස ලැබීම

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ  ඉදිරිපත් කිරීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් පත් කරන ලද සෝල්බරි කොමිසම සාමාජිකයෝ 1944 දෙසැම්බර් මස දිවයිනට පැමිණියහ. 1945 වර්ෂයේ සැප්තැම්බර් මස සෝල්බරි කොමිසමේ වාර්තාව ප‍්‍රකාශයට පත් කෙරුණු අතර රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ පූර්ණ බලතල ලාංකිකයන්ට ලැබෙන ආණුඩුක‍්‍රමයක් එමගින් නිර්දේශ කර තිබුණි.

එම වාර්තාවේ කරුණු ඇතුළත් ධවල පත‍්‍රිකාව මෙරට රාජ්‍ය මන්ත‍්‍රණ සභාව විසින් පිළිගනු ලැබීමෙන් පසු සෝල්බරි ආණ්ඩුක‍්‍රමය පිළිබඳ රාජාඥව 1946 මැයි මාසයේ දී බි‍්‍රතාන්‍ය විසින් නිකුත් කරන ලදි. සෝල්බරි ආණ්ඩුක‍්‍රමය යටතේ පැවැත්විය යුතු ප‍්‍රථම පාර්ලිමේන්තු  මැතිවරණය 1947 වසර මැද පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් ලංකාවට නිදහස ලබා දීම ගැන එතෙක් බි‍්‍රතාන්‍යයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකළහ. මේ නිසා නිදහස ලබා ගැනීමට ලාංකිකයන්ට ඇති අයිතිය පිළිබඳ ඞී. එස්. සේනානායක මහතා ඇතුඵ මෙරට නායකයෝ බි‍්‍රතාන්‍යයට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කළහ. 

ඒ අනුව මැතිවරණයට මාස දෙකකට පෙර විශේෂ ප‍්‍රකාශයක් කළ යටත් විජිත භාර ලේකම්වරයා බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් රටක තත්ත්වය ලංකාවට ලබා දෙන බව නිවේදනය කළේය. මේ වන විට ඞී.එස්.සේනානායක මහතා විසින් එක්සත් ජාතික පක්ෂය පිහිටුවා තිබුණි. 1947 අගෝස්තු මස පැවති ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵලය පහත දැක්වේ.

1947 පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵල



දේශපාලන පක්ෂය
ජයග‍්‍රහණය කළ ආසන සංඛ්‍යාව
එක්සත් ජාතික පක්ෂය
42
ලංකා සමසමාජ පක්ෂය
10
ද්‍රවිධ සංගමය
07
ලංකා ඉන්දියානු සංගමය
06
බොල්ෂෙවික් ලෙනින් පක්ෂය
05
ලංකා කොමියුනිට්ස් පක්ෂය
03
කම්කරු පක්ෂය
01
ස්වාධීනව තරග කළ අපේක්ෂකයන්
21
එකතුව
95


ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලය

මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත් බැවින් ස්වාධීන අපේක්ෂකයන් රැසකගේ සහාය ලබා ගත් ඞී. එස්. සේනානායක මහතා ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළේ ය. 1946 වර්ෂයේ සිට ම මෙරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ පාලන වගකීම ලාංකිකයන්ට පවරා දීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව කැමති වුවත් විදේශ කටයුතු තවදුරටත් බි‍්‍රතාන්‍යයන් අතම පවත්වා ගැනීමේ සූදානමක් තිබුණි.දිවයිනේ භූගෝලීය පිහිටීම, ආරක්ෂක හා යුද්ධ කටයුතු අතින් වැදගත් වූ හෙයින් මෙරට සමඟ පැවති සබඳතා සම්පූර්ණයෙන් ම බිඳ දැමීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අකමැති වීම එයට හේතු විය.

බි‍්‍රතාන්‍යයේ මෙම අභිලාෂය තේරුම් ගත් නව අගමැති ඞී.එස්.සේනානායක මහතා, 1947 නොවැම්බර් මාසයේ දී බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සමග ආරක්ෂක හා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් දෙකක් අත්සන් තැබීමට කටයුතු කළේ ය.

  • ආරක්ෂක ගිවිසුම


ආරක්ෂක ගිවිසුම අනුව අවශ්‍යය අවස්ථාවල දී බි‍්‍රතාන්‍යයේ නාවික, ගුවන් හා සෙසු යුද්ධ කටයුතුවලට මෙරට භුමිය භාවිත කිරීමට ඉඩ ලබා දීමට එකඟ විය.

  • බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම


බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම අනුව නිදහස් රටක් වශයෙන් ලංකාව ජාත්‍යන්තර සබඳතා අලූතෙන් ගොඩනගා ගැනීමේ දී බි‍්‍රතාන්‍යයේ සහාය මෙරටට ලබාදීමට කැමැත්ත ප‍්‍රකාශ විය.

1948 වර්ෂයේ පෙබරවාරි 04 දින සිට එකී විධි විධාන ක‍්‍රියාත්මක වීමත් සමග ශ‍්‍රී ලංකාවට නැවත වරක් නිදහස ලැබුණි. ඒ අනුව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නීති පැනවීමට හා මෙරට පාලන කටයුතු ගෙන යාමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට තිබූ බලය අවසන් වී එම බලතල ලංකා ආණ්ඩුවට ලැබුණි.

1948 වර්ෂයේ පෙබරවාරි 10 දින නව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර අගමැති ඞී.එස්.සේනානායක මහතා විසින් ඉංග‍්‍රීසි ධජය පහත හෙළා යළි සිංහ ධජය ඔසවන ලදි. මේ අනුව පෙබරවාරි 04 දින ශ‍්‍රී ලංකාවේ නිදහස් දිනය බවට පත් විය.


ලංකා පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය 10/08/1948



















1 comment:

  1. Asia Casino Review 2021 | Play on Mobile & Tablet
    Asia Casino is an online gaming site established 제왕카지노 in 2018. 바카라 사이트 The site has over 300 games including progressive 메리트 카지노 주소 slots, live dealer games,

    ReplyDelete