Sunday 6 November 2016

මහා පාවාදීමේ රජු දොන් ජුවන් පෙරිය බණ්‌ඩාර

බුවනෙකබාහු රජුගේ දියණිය වූ සමුද්‍රදේවී කුමරිය හා වීදිය බණ්‌ඩාර අතර විවාහය සිදුවන්නේ දේශපාලනික පසුබිමක්‌ සහිතවය. බුවනකබාහු රජතුමාගේ සොහොයුරු මායාදුන්නේ, කෝට්‌ටේ රාජ්‍යයට බැල්ම හෙළීමත් සමඟ බුවනෙකබාහු රජුට රණ ශූරත්වයෙන් යුතු පුද්ගලයකුගේ සහාය අවශ්‍ය විය. මෙයට ඉතාම සුදුසුම පුද්ගලයා වීදිය බණ්‌ඩාර බව රජුට වැටහී තිබුණි.



බුවනෙකබාහු රජුගේ ගම්පොල පරම්පරාවට අයත් ප්‍රධාන බිසවගෙන් ලද සමද්‍රදේවී කුමරිය විවාහවීමට යෝජිතව සිටියේ ජුගෝ බණ්‌ඩාර කුමරු සමඟය. කුමරියගේ හිතගොස්‌ තිබුණේ ජුගෝ බණ්‌ඩාර කෙරෙහි නොව විදිය බණ්‌ඩාර කෙරෙහිය. ජුගෝ බණ්‌ඩාර බුවනෙකබාහු විසින් හදා වඩාගත් කුමාරයකු බව ඉතිහාසයේ ලිඛිත මූලාශර සඳහන් කරයි. වීදිය බණ්‌ඩාර පසුව ජුගෝ බණ්‌ඩාර පිහි ඇනුමකින් ඝාතනය කළේය.

1538 වර්ෂයේදී වීදිය බණ්‌ඩාර විසින් සමුද්‍රදේවී කුමරිය ආවාහ කර ගන්නා ලදී. රටට අවැසි ප්‍රබල සෙන්පතියකු බැවින් වීදිය හා සමුද්‍රදේවී විවාහය සඳහා භික්‌ෂූන් වහන්සේගේ ආශිර්වාදය ලැබී තිබිණි.

මෙම විවාහයෙන් වැඩිමහල් ධර්මපාල හා බාල විජයබාහු නම් කුමාරවරු දෙදෙනෙක්‌ බිහිවූ බව සමහර ග්‍රන්ථවල සඳහන් වේ. තවත් තැනක සඳහන් වන්නේ විජයපාල කුමරු පසුව ධර්මපාල කුමාරයා නමින් ප්‍රසිද්ධ වූ බවකි.

බුවනෙකබා රජුගෙන් පසු රජකමේ අයිතිවාසිකම සඳහා ලෙයින් සම්බන්ධයක්‌ ධර්මපාල කුමරුට හිමිව තිබිණි. රජුට පුතුන් නොමැති වීමත්, රජු හා මායාදුන්නේ අතර විරසකය වැඩිවෙමින් තිබූ නිසාත් සහෝදරයාට රජකම ලබාදීමට බුවනෙක බාහුගේ තිබූ අකමැත්තත් මීට හේතු විය.

මේ කාලයේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ තීරය පාලනය කලේ පෘතුගීසීන් විසිනි. ශ්‍රී ලංකාව මුළුමනින්ම තමන්ට අත්පත් කර ගැනීම සඳහා දේශපාලන උපාය මාර්ගය තෝරමින් සිටි පෘතුගීසීන් අනාගත රජු තමන්ගේ අවශ්‍යතාවට සරිලන පරිදි සකසා ගැනීමට සැලසුම් සකස්‌ කළේය. මායාදුන්නේ තමන්ට එරෙහිව සිටි නිසා බුවනෙකබාහුගෙන් පසු ධර්මපාල කුමරු රජකමට පත්වීම පෘතුගීසීන්ගේද අවශ්‍යතාවය විය. අනාගත රජු සම්බන්ධයෙන් බුවනෙකබාහු රජුගේ හා පෘතුගීසීන්ගේ අවශ්‍යතාවය සමපාත වීම ධර්මපාල ඊළඟ රජු බවට පත්වීමේ පදනම වී තිබිණි.

දේශපාලන බලය සම්බන්ධයෙන් කලාපීය ආධිපත්‍ය තිබූ පෘතුගීසීන්ගේ තේරීම ධර්මපාල වීම තමන් ලද වාසියක්‌ බව බුවනෙකබාහු රජුට පෙනී ගියේය. මායාදුන්නේ හා බුවනෙකබා අතර සටනේදී තීරණාත්මක සහයෝගය සඳහා බුවනෙකබාහු රජුට පෘතුගීසීන් අවශ්‍යව තිබිණි. මේ වන විට පෘතුගීසීන් බුවනෙකබා රජුගෙන් අපේක්‌ෂා කර තිබුණේ ඔහු ක්‍රිස්‌තියානි ආගම වැළඳගනු ඇතැයි කියාය. මේ සඳහා පෘතුගීසීන්ගෙන් රජුට නිරන්තරයෙන් බලපෑම් එල්ල විය. ළදරු ධර්මපාල කුමරු පෘතුගීසීන්ට බාර දීමෙන් තමන්ට එම බලපෑමෙන් නිදහස්‌වීමට හැකියාව ලැබීම රජු ලද වාසිය විය.

සිංහලයේ ව්‍යවස්‌ථාව අනුව එහි රජු බෞද්ධයකුම විය යුතුය. අන් ආගමක්‌ වැළඳ ගැනීමේ අවශ්‍යතාවයක්‌ බුවනෙකබාහුට නොතිබිණි. ඔහු තමන් ඇදහූ බුද්ධාගම තදින්ම විශ්වාස කළේය. ඒ වගේම තමන් කතෝලික ආගම වැළඳ ගතහොත් සිංහල ව්‍යවස්‌ථා අනුව මායාදුන්නේ රජ බවට පත්වීම නිතැතින්ම සිදුවෙන බව බුවනෙකබා අවබෝධ කර ගත්තේය.

සියල්ල අවසානයේ ධර්මපාල කුමරු අනාගත අවශ්‍යතාව සඳහා අධ්‍යාපනයෙන්, ආගමෙන්, චර්යාවෙන් සූදානම් කරවීම පෘතුගීසිහු බාර ගත්හ.

ධර්මපාල කුමරුගේ රුවට සමාන පිළිමයක්‌ පෘතුගාලයේදී සිංහලයේ ඊළඟ රජු ලෙස අභිසේක කිරීම පෘතුගීසීන් ධර්මපාල කෙරෙහි තබා තිබූ බලාපොරොත්තුව කියා පාන්නකි. හිස ඇත් දළෙන් හා රනින් නිමවූ මෙම පිළිමයේ බඳ රිදියෙන් නිමවා තිබිණි. බුවනෙකබාහු රජුගේ නියෝජිතයන් පිරිසක්‌ සමඟ පෘතුගාලයට මෙම පිළිමය රැගෙන ගිය පසු එහිදී සිංහලයේ ඊළඟ රජු ලෙස එය අභිෂේක කරන ලදී. පිළිරුව අබිෂේකයෙන් පසු සිංහල තානාපතිවරුන් සමඟ පැමිණි ප්‍රැන්සිස්‌කානු පූජකවරු ධර්මපාල කුමරුගේ අධ්‍යාපන කටයුතු බාර ගත්තේය.

බුවනෙකබාහු රජතුමා මහලුවියට පැමිණෙන විට ඔහු සිටියේ පෘතුගීසීන් විසින් "බිත්තියටම හේත්තු කර" ඇති තත්ත්වයකය. "පුතා මේ රාජ්‍යය උඹට ලැබෙන්නේ නැහැ. උඹ ඉපදිලා තියෙන්නේ අවසනාවන්ත වෙලාවක. උපන් දවසේ උඹේ හඳහන බැලුවහම කිවේ, මේ රාජ්‍ය උඹත් එක්‌කම ඉවර වෙනවා කියලා." යනුවෙන් මහලු බුවනෙකබා රජු බලාපොරොත්තු කඩවී ප්‍රකාශ කළ බව ක්‌වේරෝස්‌ වාර්තා කරයි. පෘතුගීසීන්ට අවශ්‍ය වූයේ ධර්මපාල කුමරු රජකරවීම නොව, තමන්ට යටත් රූකඩ පාලකයකු ලෙස ධර්මපාල පත්කර පාලනය අතට ගැනීම බව බුවනෙකබාහු රජුට මේ වන විට වැටහී තිබිණි.

පෘතුගීසි වෙඩි ප්‍රහාරයකින් බුවනෙකබාහු රජු ඝාතනය වූ පසු තරුණ ධර්මපාල කුමරු 1551 වසරේදී රජු බවට පත්විය.

1557 වසරේදී ධර්මපාල රජු පෘතුගීසින් ගේ වුමනාව ඉටුකරමින් දොන් ජෝන් නමින් බෞතීෂ්ම විය. ධර්මපාල බෞද්ධාගම අතහැරීමත් සමඟ රජකම පිළිබඳව සිංහලයේ චාරිත්‍රානුකූලව ඔහු රජකමට නුසුදුස්‌සෙකු විය. සමකාලීන යුරෝපයේ රජකම හා ආගම සම්බන්ධයෙන් පැවැති මතවාදය, පෘතුගීසීන් ධර්මපාල තම ආගමට නම්මවා ගැනීම කෙරෙහි බලපෑවේය. cuiñ regio, eine religio යන ලතින් වදන අනුව "රට කාගෙද, ආගමත් ඔහුගේය" යන්න යුරෝපයේ රාජ්‍යත්වය හා ආගම සම්බන්ධ මූලධර්මය විය. මෙය ආර්මේනියාවේ ක්‍රිස්‌තියානි ආගම ආරම්භ වන විට ඉදිරිපත් කරන ලද සංකල්පයකි. පසුව කොන්ස්‌ටන්ටයින් අධිරාජ්‍යයා විසින් මෙය රෝම අධිරාජ්‍යයට හඳුන්වා දෙන ලදී.

දොන් ජුවන් පෙරිය බණ්‌ඩාර ලෙස බෞතීස්‌ම වූ පසු ව්‍යවස්‌ථානුකූලව ඔහුට රාජ්‍යත්වය අහිමි විය. සිංහලයේ රාජ්‍යත්වය සංකේතය වූ දළදා වහන්සේගේ ගිහි බාරකරුව සිටි දියවඩන නිළමේ තැන්පත් හිරිපිටියේ රාළ කෝට්‌ටේ වැඩ විසූ දළදාව සීතාවක රජුට පවරා දෙනු ලැබීය. රටේ තීරක බලවේග වූ භික්‌ෂූන් වහන්සේගේ හා ජනතාවගේ විරෝධයට දොන් ජුවන් පෙරිය බණ්‌ඩාර ලක්‌වූ අතර රට තුළ රජෙකු ලෙස පිළිගැනීමක්‌ නොවුනද තම බලය යොදමින් පෘතුගීසින් ඔහු රජු ලෙස පෙන්වාගෙන සිටියේය. සිංහල රජෙකු ලෙස චූලවංශය දොන් ජුවන් පෙරිය බණ්‌ඩාරගේ නම සඳහන් නොකරන්නේ ඔහු රාජ්‍යත්වයේ හිමිකාරිත්වය අහිමිකරගත් නිසාය.

ක්‍රිස්‌තියානියට හැරුණු පෙරිය බණ්‌ඩාර කැලණි රජමහා විහාරය, කිත්සිරි මෙවන් විහාරයද, එම විහාරස්‌ථාන සතු සියලු දේපළ ද, හේවාද, ප්‍රැන්සිස්‌කන් පූජකවරුන්ට පවරා දුන්නේය. එපමණක්‌ නොව දළදා මාලිගාව, දිවයින තුළ තිබූ සියලු වෙහෙර විහාරස්‌ථාන, ඒවා සතු ඉඩ කඩම් පෘතුගීසි පූජකයන්ට පෙරිය බණ්‌ඩාර විසින් පවරා දෙනු ලැබීය. මෙම පවරාදීම පෙරිය බණ්‌ඩාරගේ ස්‌ව කැමැත්තෙන් නොව කතෝලික මිෂනාරීන්ගේ බලපෑම මත සිදුවූවා යෑයි උපකල්පනය කළ හැක්‌කේ මේ වන විට පෙරිය බණ්‌ඩාර පෘතුගීසීන්ගේ රූකඩයක්‌ බවට මුළුමනින්ම පත්ව තිබුණ නිසාය. පෙරිය බණ්‌ඩාර විසින් වෙහෙර විහාර පවරාදීමේ ක්‍ෂණික ප්‍රතිඵල වුණේ බොහෝ විහාරස්‌ථාන, දේවාල කඩා, පල්ලි ඉදිකිරීමට ක්‍රිස්‌තියානි පූජකයන් කටයුතු කිරීමය. කැලණිය ශාන්ත ආනා හා දකුණු ඉවුරේ බර්තොලමියු යන පල්ලි ඉදි වීමය. ශාන්ත ආනා දේවස්‌ථානය ඉදිවුණේ බුවනෙකබාහු රජු ඝාතනය කළ ස්‌ථානයේ තිබූ පස්‌මහල් රජ මාලිගාව තිබූ ස්‌ථානයේය. දළදා මාලිගාව කඩා බිඳ දමා එම ස්‌ථානයේ ශුද්ධ වූ ගැලවුම්කාරයන්ගේ පල්ලිය ඉදිකරන ලදී. 

නෛතික වලංගු භාවයකින් තොර ලියවිලි බවට මෙම සියලු පැවරුම් පත්වන්නේ, පැවති නීතිය අනුව දොන් ජුවන් සිංහලේ රජු නොවූ නිසාය.

පෘතුගීසින් ගෙන්, දොන් ජුවන්ට රාජකීයත්වයට සරිලන සැලකිල්ලක්‌ නොලැබිණි. පෘතුගීසීන්ගේ අනේකවද වින්දනයන්ට ලක්‌වූ ඔහුට, පෘතුගීසීන් විසින් වස පවා දෙනු ලැබීය. දොන් ජුවන්ට රාති භෝජන සංග්‍රහයක්‌ සඳහා ආරාධනා කළ කපිතාන්වරයකු ඔහුට එහිදී වයින් පිරිනමනු ලැබීය. පළමු වයින් බඳුන බීමත් සමඟ ක්‍ෂණයකින් දොන් ජුවන් බිම ඇද වැටිණි. විස ශරීරගතවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දොන් ජුවන්ගේ දත් සියල්ල හැලී ගිය අතර ඉන්පසු ඔහු කතා කිරීමේදී ගොත ගසන්නෙකු බවට පත්විය. හේ තමන්ගේ දේපළ කොල්ල කමින්, පෘතුගීසීන්ගෙන් තමන් විඳින දුෂ්කරතා සඳහන් කරමින් පෘතුගාලයේ පිලිප් රජතුමාට දොන් ජුවන් විසින් ලිපියක්‌ යන ලදී. නමුත් ඔහු මිය යන තෙක්‌ එම ලිපියට පෘතුගාල රජුගෙන් පිළිතුරක්‌ ලැබුණේ නැත.

සිංහලයන් එහි සංස්‌කෘතිය, ශිෂ්ටාචාරය ගොඩනැංවූ ප්‍රාණනාලිය වූ බෞද්ධාගමත් පාවා දුන් ජාතියේ මහා දෝංකාරය ලෙස දොන් ජුවන් පෙරිය බණ්‌ඩාර 1597 මැයි 27 වැනිදා කොළඹදී අභාවප්‍රාප්ත විය. ඔහුගේ සිරුර ශාන්ත ප්‍රැන්සිස්‌කෝ කන්‍යාරාමයේ මිහිදන් කරන ලදී. 1762 වසරේදී ඔහුගේ සොහොන කොටුව ඕලන්ද පල්ලියේ සොහොන් බිමේ තිබූ අතර පසුව ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයට නතුවූ පසු එය විනාශ කිරීමට අවසර දුන් බව පෝල් ඊ. පීරිස්‌ සඳහන් කරයි.

No comments:

Post a Comment