Wednesday 2 November 2016

පළමු ලෝක මහා සංග්‍රාමය

විසිවන සියවසේ ප‍්‍රථම භාගයේ දී සමස්ත ලෝකයට ම බලපෑ මහා සංග‍්‍රාම දෙකක් ඇති විය. මෙම සංග‍්‍රාම දෙක ම යුරෝපයෙන් ආරම්භ වී පසුව සෙසු මහාද්වීප කරා පැතුරුණි. ලොව බලවත් රටවල් රැසක් මෙම යුද්ධවලට සම්බන්ධ වී සමස්ත ලෝකයට බලපෑම් ඇති කළ නිසා වා ලෝක මහා සංග‍්‍රාම ලෙස හඳුන්වනු ලැබේ. මෙම යුද්ධවලින් සිදු වූ ව්‍යසනය නිසා ම නැවත ලෝක මහා සංග‍්‍රාමයක් ඇතිවීම වලක්වා ගැනීම පිණිස ලෝක නායකයෝ විවිධ සම්මුති ඇති කර ගත්හ.

මෙම ලිපියේ දී පළමු ලෝක මහා සංග‍්‍රාමයට තුඩුදුන් හේතු, පළමු ලෝක මහා සංග‍්‍රාමයේ ස්වභාවය, ප‍්‍රතිඵල මෙන් ම ජාතිගේ එකමුතුව සංවිධානය, එහි වැදගත්කම සහ එහි පරිහානිය පිළිබඳව ද අවධානය යොමු කෙරේ.





1914 - 1918 කාලයේ ලොව පුරා පැතිරී ගිය යුද්ධය පළමු වන ලෝක මහා සංග‍්‍රාමය ලෙස හැඳින් වේ. මීට පෙර ලෝකයේ සෑම මහද්වීපයක ම ව්‍යාප්ත වූ යුද්ධයක් ගැන ඉතිහාසයේ සඳහන් නො වේ. මෙම යුද්ධය යුරෝපයෙන් ආරම්භ වී, පසුව යුරෝපා ජාතීන් ගොඩනගාගෙන තිබූ යටත් විජිතවලටත් පැතිර ගියේ ය. අවසානයේ ඇමරිකා එක්සත් ජනපදයත් යුද්ධයට සම්බන්ධ වීමෙන් සියලූ මහද්වීප කරා ව්‍යාප්ත වූ ලෝක මහා සංග‍්‍රාමයක් බවට පත් විය.

පළමුවන ලෝක මහා සංග‍්‍රාමයට බලපෑ හේතු

  1. ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේ දීප‍්‍රංශය හා ජර්මනිය සතුරන් බවට පත් වීම.
  2. ජර්මන් අධිරාජයා වූ දෙවන විලියම්ගේ ක‍්‍රියා කලාපය
  3. යටත් විජිත සඳහා වූ තරගය
  4. අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම.
  5. ප‍්‍රංශය යුරෝපය තුළ තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තිය
  6. ඔස්ටි‍්‍රයාවේ ඔටුන්න හිමි කුමරුන් මරා දැමීම.
ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේ දී, ප‍්‍රංශය හා ජර්මනිය සතුරන් බවට පත් වීම.

19 වන සියවස ආරම්භයේ දී ජර්මන් බස කතා කළ වැසියන්ගෙන් යුතු කුඩා රාජ්‍යයන් 350 ක් පමණ පැවතියත් ජර්මනිය යනුවෙන් හැඳින්විය හැකි රටක් නොතිබුණි. එබඳු පසුබිමක් තිබිය දී ඉහත කී කුඩා රාජ්‍යයන් එකතු කොට ජර්මනිය යනුවෙන් රටක් බිහි කරන ලද්දේ ඔටෝවෝන් බිස්මාර්ක් නම් දක්ෂ  නායකයා විසිනි. බිස්මාර්ක් 1870 වර්ෂයේ දී එක්සත් ජර්මනිය පිහිටුවා එය බලවත් රටක් කිරීම සඳහා ප‍්‍රංශය සමඟ යුද්ධයකට පැටලූණි. එම යුද්ධයෙන් ප‍්‍රංශය අන්ත පරාජයක් ලැබී ය. එතැන් සිට අසල්වැසි රටවල් දෙකක් වූ ප‍්‍රංශය හා ජර්මනිය එකිනෙකට සතුරු රටවල් දෙකක් බවට පත් විය.


ඔටෝවෝන් බිස්මාර්ක්

ජර්මන් අධිරාජයා වූ දෙවන විලියම්ගේ ක‍්‍රියා කලාපය

ජර්මනියේ නිර්මාතෘවරයා වූ බිස්මාර්ක් ජර්මන් ප‍්‍රදේශ තුළ ශක්තිමත් ජර්මනියක් පිහිටුවීමෙන් තෘප්තියට පත් විය. ජර්මනියට බාහිර යටත් විජිත පිහිටුවා ගැනීම කෙරෙහි බිස්මාර්ක් උනන්දුවක් නොදැක්වී ය. එහෙත් 1887 වර්ෂයේ දී ජර්මන් අධිරාජයා (කයිසර්) වූ දෙවන විලියම් රජු ජර්මන් ප‍්‍රදේශ තුළින් පමණක් තෘප්තිමත් වූවෙකු නොවී ය.

බිස්මාර්ක්ගේ අරමුණුවලට පටහැනිව යමින් ජර්මනියට යටත් විජිත පිහිටුවා ජර්මන් අධිරාජ්‍යයක් පිහිටුවීම එම රජුගේ අරමුණ විය. එහි දී ජර්මනියේ විදේශ ප‍්‍රතිපත්තිය ලෝකයේ සෙසු රටවල සැකයට භාජන විය. ජර්මන් අධිරාජ්‍යයක් පිහිටුවීම සඳහා ජර්මන් හමුදා ශක්තිය වැඩි කිරීමට කටයුතු කෙරිණි. එයින් කනස්සල්ලට පත් බි‍්‍රතාන්‍යය ද ජර්මනියට තරගකාරීව තම හමුදා ශක්තිය වැඩි කළේ ය. මේ නිසා යුරෝපය තුළ යුදකාමී වාතාවරණයක් ක‍්‍රමයෙන් ගොඩනැගුණි.


 දෙවන විලියම් අධිරාජ්‍යයා


යටත් විජිත සඳහා වූ තරගය

19 වන සියවස මැද වන විට යුරෝපයේ බලවත් රටවල් ආසියාවේ හා අප‍්‍රිකාවේ යටත් විජිත පිහිටුවීම සඳහා තරගයකට අවතීර්ණ වූ ස්වභාවයක් දක්නට ලැබිණ. මෙහි දී වැඩි ම යටත් විජිත හිමිකරුවා වූයේ බි‍්‍රතාන්‍යය යි. බෙල්ජියම, ප‍්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය හා ඕලන්දය යන රටවලට ඊළඟ ස්ථාන හිමි විය. එක්සත් ජර්මනියක් බිහි වීමෙන් පසු ශීඝ‍්‍ර කාර්මික දියුණුවක් අත් කරගත් ජර්මනියට සිය නිමි ද්‍රව්‍ය අලෙවි කර ගැනීම සඳහා වෙළෙඳපොළ සොයාගැනීම අවශ්‍ය විය. ආසියා, අප‍්‍රිකා ප‍්‍රදේශ වෙත ජර්මනිය මෙසේ පැමිණීම ගැන සෙසු ජාතිහු බියට පත් වූහ. විශේෂයෙන් එතෙක් බලවතා වශයෙන් සිටි බි‍්‍රතාන්‍ය මෙය මහත් තර්ජනයක් ලෙස සලකා ඇත. මෙසේ යටත් විජිත සඳහා වූ තරගය ප‍්‍රතිවිරුද්ධ බලවතුන්ගේ විරුද්ධවාදී අදහස් පෝෂණය වීමට බෙහෙවින් බලපෑවේ ය.


අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම.

19 වන සියවස අගභාගයේ පටන් යුරෝපයේ සෑම ප‍්‍රබල රටක් ම (ජර්මනිය, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, රුසියාව) තමන්ගේ බලය වර්ධනය කර ගැනීම සඳහා අවි ආයුධ අතින් සන්නද්ධව සිටීම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබී ය.

අවි ආයුධ බලයෙන් වසර පහක දී ලබා ගත් දේ ආරක්ෂා කර ගැනීමට තවත් වසර 50 ක් සන්නද්ධව සිටිය යුතු යැයි ජර්මන් සෙන්පතියෙකු වූ වොන් වෝල්කේ පවසා ඇත.

අවි බලය කෙරෙහි ජර්මනිය තුළ පැවති විශ්වාසය මෙම ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ. මෙසේ එක් එක් රටවල් අවි ආයුධ කෙරෙහි විශ්වාසය තැබීම නිසා ඇතැම් යුරෝපීය රටවල් අතර අවි තරගයක් නිර්මාණය විය. එමෙන් ම ඉතාලියේ හා ජර්මනියේ ජාතිකවාදය තුළින් එම රටවල් එක්සත් කිරීමත් සමග යුරෝපයේ ජාතිකවාදී ප‍්‍රවණතාව වර්ධනය විය. මෙහි විශේෂ ලක්ෂණය වූයේ තමන්ගේ රටට ආදරය කිරීමත් සෙසු රටවල් හෙලා දැකීමත් ය. මෙම තත්ත්වය ජාතීන් අතර ගැටුම් ඇති වීමට සුදුසු පසුබිමක් නිර්මාණය කළේ ය.


ප‍්‍රංශය යුරෝපය තුළ තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තිය

1870 වර්ෂයේ දී ප‍්‍රංශය යුද්ධයෙන් පරාජය කළ ජර්මනියේ බිස්මාර්ක්, ප‍්‍රංශය සතුව තිබූ ඇල්සාස් සහ ලොරේන්ස් නැමති සාරවත් ප‍්‍රදේශ දෙක පැහැර ගත්තේ ය. මේ නිසා අනාගතයේ කිසියම් දිනෙක ප‍්‍රංශය ජර්මනියෙන් පළි ගැනීමට යුද්ධ කරනු ඇතැයි ද, ඇල්සාස් හා ලොරේන්ස් ප‍්‍රදේශ යළි ලබා ගනු ඇතැයි ද ජර්මනියට බියක් තිබිණි. මේ නිසා යුරෝපයේ බලවත් රටවල් සමග ජර්මනිය මිත‍්‍ර‍්‍ර සබඳතා ඇති කර ගැනීමත් ප‍්‍රංශයට යුරෝපයේ මිතුරන් නැති කිරීමත් 1870 න් පසු ජර්මනියේ විදේශ ප‍්‍රතිපත්තිය විය.

මෙහිදී තනි වූ ප‍්‍රංශය යුරෝපයේ මිතුරන් සොයා යාම නිසා ජර්මනිය හා ප‍්‍රංශය මුල් කර ගත් කඳවුරු දෙකක් ගොඩනැගුණි. මෙහි ප‍්‍රතිඵල වශයෙන් ජර්මනිය, ඔස්ටි‍්‍රයාව, ඉතාලිය ඇතුළත් කඳවුරක් හා බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, රුසියාව ඇතුළත් කඳවුරක් වශයෙන් කඳවුරු දෙකක් නිර්මාණය විය. මෙහි දී ජර්මනිය ඇතුළත් කඳවුර මධ්‍යම බලවතුන් ලෙස හැඳින්වූ අතර ප‍්‍රංශය ඇතුළත් කඳවුර මිත‍්‍ර බලවතුන් ලෙස හදුන්වන ලදි. සෙසු රටවල් ද ඔවුනොවුන්ගේ අවශ්‍යතා මත එම කඳවුරු දෙකෙන් එකකට එකතු විය. එතැන් සිට 1914 වන තෙක් මෙම පිල් දෙක අතර වාග් සංග‍්‍රාමයක් සිදු විය.


ඔස්ටි‍්‍රයාවේ ඔටුන්න හිමි කුමරුන් මරා දැමීම.

ඉහත සඳහන් කළ ආකාරයට යුද්ධය සඳහා යුරෝපය තුළ දැඩි සූදානමක් පවතිද්දී, ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරා වූ ප‍්‍රාන්ස් ෆර්ඩිනන්ඞ් හා ඔහුගේ බිරිඳ බොස්නියාවේ අගනුවර වූ සරාජිවෝ (සරායෙවෝ) නගරයේ සංචාරය කරමින් සිටිය දී, ඝාතනය කෙරිණි. මෙම ඝාතනය සිදු කළේ සර්බියානු ජාතිකයන් දෙදෙනෙකු විසිනි.

ඔස්ටි‍්‍රයාව මෙම සිද්ධිය තමන්ට විරුද්ධව කරන ලද කුමන්ත‍්‍රණයක් වශයෙන් සලකා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කොට සර්බියාවෙන් වන්දි ඉල්ලා සිටියේ ය. සර්බියාව එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා ක‍්‍රි. ව. 1914 ජූලි මස 28 වන දින ඔස්ටි‍්‍රයාව සර්බියාවට විරුද්ධව යුධ ප‍්‍රකාශ කළේ ය. සරාජිවෝ සිද්ධිය නමින් හඳුන්වන මෙයට පළමු ලෝක මහා සංග‍්‍රාමය ආරම්භ වීමට බලපෑ ආසන්න ම හේතුව ලෙස සැලකේ.

 

ප‍්‍රාන්ස් පර්ඩිනන්ඞ් කුමරු සහ බිරිඳ



ප‍්‍රාන්ස් පර්ඩිනන්ඞ් හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම දැක්වෙන සිතුවමක් හා ඔවුන් ගමන් ගත් රථය


ප‍්‍රාන්ස් පර්ඩිනන්ඞ් කුමරු, බිරිඳ සහ දරුවන්


පළමු වන ලෝක යුද්ධයට සම්බන්ධ වූ රටවල්


මිත‍්‍ර පිලේ රටවල්
මධ්‍යම බලවතුන්ගේ රටවල්
ප‍්‍රංශය
මහා බ්‍රිතාන්‍ය
රුසියාව
..ජනපදය                      
ජර්මනිය
ඔස්ට්‍රියාව
ඉතාලිය
තුර්කිය
බල්ගේරියාව
හංගේරියාව




පළමු වන ලෝක යුද්ධයට සම්බන්ධ වූ ප්‍රධාන රටවල්

පළමු වන ලෝක සංග‍්‍රාමයේ ව්‍යාප්තිය

සරාජිවෝ සිද්ධියේ දී ඔස්ටි‍්‍රයාව සර්බියාවට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීම ඔස්ටි‍්‍රයාවේ මිතුරු රටක් වූ ජර්මනිය ද අනුමත කළේ ය. එ් අනුව ඔස්ටි‍්‍රයාව මෙන් ම සර්බියාව ද යුද්ධය සඳහා තම මිතුරන්ගෙන් ආධාර ලබා ගැනීමේ තත්ත්වයක් නිර්මාණය විය. ඔස්ටි‍්‍රයාවේ යුධ බලයට බිය වූ සර්බියාව රුසියාවෙන් ආධාර ඉල්ලී ය. රුසියාව එ් සඳහා ආධාර ලබා දීමට සූදානම් විය.

එහි දී ඔස්ටි‍්‍රයාවට හිතවත්ව කටයුතු කළ ජර්මනිය සර්බියාවට අධාර නො කරන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටියත් එය ඉටු නො විණි. මේ නිසා ඔස්ටි‍්‍රයාවට පක්ෂ රටක් ලෙස ජර්මනිය ද යුද්ධයට අවතීර්ණ විය. එහි ප‍්‍රතිඵල වශයෙන් 1914 අගෝස්තු පළමුදින ජර්මනිය රුසියාවට විරුද්ධව යුද්ධ ප‍්‍රකාශ කළේ ය.

මේ වන විට රුසියාව හා ප‍්‍රංශය අතර මිත‍්‍රත්වයක් පැවති බැවින් ජර්මනිය රුසියාවට පහර දෙන විට ප‍්‍රංශය රුසියාවට උදව් කරනු ඇතැයි සිතූ ජර්මනිය දෙවරක් නො සිතා ප‍්‍රංශයට විරුද්ධව ද යුද්ධය ප‍්‍රකාශ කළේ ය. ජර්මනිය එක්සත් කළ අවධියේ සිට ජර්මනිය හා ප‍්‍රංශය අතර වෛරයක් තිබුණි. මේ නිසා ප‍්‍රංශය යුද්ධයට අවතීර්ණ වීමට පෙර ඇයට පහර දීමට සිතූ ජර්මනිය බෙල්ජියමට කඩා වැදී බෙල්ජියම හරහා ප‍්‍රංශයට පහර දීමට පටන් ගත්තේ ය.

ජර්මනියේ මෙම හිතුවක්කාරි ක‍්‍රියා පිළිවෙත බි‍්‍රතාන්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින් ද බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය අතර මිත‍්‍රත්වයක් පැවති බැවින් ද බි‍්‍රතාන්‍ය ජර්මනියට විරුද්ධව යුධ ප‍්‍රකාශ කරමින් ප‍්‍රංශයේ සහයට ඉදිරිපත් විය. බි‍්‍රතාන්‍යය යනු එ් වන විටත් ලොව පුරා යටත් විජිත රැසක් හිමි කර ගෙන සිටි රටකි. එබැවින් බි‍්‍රතාන්‍ය යුද්ධයට අවතීර්ණ වීමත් සමඟ එම යටත් විජිත කරා ද යුද්ධයේ බලපෑම පැතිරිණි.

දෙපාර්ශ්වය අතර ගොඩබිම් සටන් මෙන් ම මුහුදු සටන් ද ඇති විය. අති නවීන යුද්ධායුධ ප‍්‍රයෝජනයට ගනිමින් දීර්ඝ සටන් ක‍්‍රියාත්මක විය. ජර්මනිය දිගින් දිගටම සබ්මැරින් ප‍්‍රහාර එල්ල කළේ ය. ඒ අනුව බි‍්‍රතාන්‍ය වරායෙන් පිටත් වන සෑම නැව් හතරෙන් එකක් ම වාගේ ජර්මන් සබ්මැරින් ප‍්‍රහාරයන්ට ගොදුරු විය.

ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට සම්බන්ධ වීම

මේ වන විට බලවත් රාජ්‍යයක්ව සිටි ඇමරිකා එක්සත් ජනපදය මුලදී මධ්‍යස්ථව සිටියේ ය. ඇමරිකාව සතු වූ ලූසිටානියා නම් මගී නැව ජර්මන් සබ්මැරිනයක් මගින් ගිල්වා දැමීම නිසා ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට අවතිර්ණ විය. ඇමරිකා එක්සත් ජනපදය මිත‍්‍ර සන්ධානයට එක්වීම ජර්මනියේ පරාජයට බලපෑ ප‍්‍රබල ම හේතුවක් විය. එරට සතුව පැවැති විශාල ආහාර තොග යුද්ධයේ දී ඉතා ප‍්‍රයෝජනවත් වූ අතර මිලියන දෙකක් පමණ වූ පාබල හා නාවුක හමුදාව සහ අතිනවීන යුද්ධායුධ සතුරු පිලට ප‍්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් විය.

මුල දී මධ්‍යම බලවතුන්ගේ පාර්ශ්වයේ සිටි ඉතාලිය රහස් ගිවිසුමක් මගින් මිත‍්‍ර පාක්ෂිකයන්ට එක්ව ජර්මනියට විරුද්ධව යුධ ප‍්‍රකාශ කිරීම විශේෂ සිදුවීමකි. ඉතාලියේ මෙම ක‍්‍රියා කලාපය නිසා ජර්මනිය හා ඕස්ටි‍්‍රයාව අතර පැවැති යුධ රහස්, සතුරන් අතට පත්වීම ජර්මනියට අවාසි සහගත විය.


ලුසිටානියා නෞකාව

මිත‍්‍ර පිලේ රටවල් දිගින් දිගටම එල්ල කළ ප‍්‍රහාර නිසා ජර්මනියේ සේනා ශක්තිය හීන වී යුද්ධ බලය දුර්වල විය. රට තුළ ආහාර අර්බුධයක් ඇති වූ අතර එය හමුදාවල නොසන්සුන්තාවක් ඇති කිරීමට බලපෑවේ ය. එසේ ම මහජන කැළඹීම් ඇති වී, රට පුරා කලබලකාරි තත්ත්වයක් උද්ගත විය. ජර්මනියේ නාවුක හමුදාව කැරලි ගසා අධිරාජයා නෙරපීමට උද්ඝෝෂණය කළ හෙයින් ඔහු සිහසුන අත්හැරීම ජර්මනියේ පරාජය වේගවත් කළේ ය. මෙසේ 1914 සිට 1918 දක්වා පැවැති පළමු වැනි ලෝක මහා සංග‍්‍රාමය අවසන් වූයේ ජර්මනිය ප‍්‍රමුඛ මධ්‍යම බලවතුන්ට පරාජය අත් කර දෙමිනි.

පළමු ලෝක මහා සංග‍්‍රාමයේ ප‍්‍රතිඵල
  • මධ්‍යම බලවතුන් පරාජයට පත්වී මිත‍්‍ර බලවතුන් ජය ගැනීම යුද්ධයේ වැදගත්ම ප‍්‍රතිඵලය යි.
  • ගිනි අවි භාවිත කිරීම හේතුවෙන් අති විශාල ජීවිත හා දේපල හානියක් සිදු වූ අතරලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් ආබාධිත තත්ත්වයට පත්ව ඇත.
  • වර්සෙල්ස් ගිවිසුම ඇති වීම
  • යුරෝපයේ පැවැති එකාධිපති රාජාණ්ඩු බිඳ වැටීම
  • යුරෝපා ආර්ථික පරිහානිය.
  • ජාතීන්ගේ සංගමය පිහිටුවා ගැනීම

වර්සෙල්ස් ගිවිසුම ඇති වීම

යුද්ධය අවසානයේ සාම ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා 1919 ජනවාරි මාසයේ ප‍්‍රංශයේ පැරිස් නුවර පවත්වන ලද සාකච්ඡාවලට රටවල් ගණනාවක ම නියෝජිතයෝ සහභාගි වූහ.

එම නායකයන්ගේ නම් පහත දැක්වේ

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති        වුඞ්රෝ විල්සන්
බි‍්‍රතාන්‍ය අගමැති                                   ලොයිඞ් ජෝර්ජ්
ප‍්‍රංශ අගමැති                                         ක්ලේමන් ෂෝ
ඉතාලියේ අගමැති                                 විටෝරියෝ ඔලැන්ඩෝ

මෙම සාම සාකච්ඡාවල ප‍්‍රතිඵල වශයෙන් පරාජිත පාර්ශ්ව සමග ගිවිසුම් කිහිපයක් ඇති කර ගැනුණි. මේ අතර ජර්මනිය සමග අත්සන් කළ වර්සෙල්ස් ගිවිසුම ද වේ. යුද්ධයේ චූදිතයා වශයෙන් ජර්මනියට වර්සෙල්ස් ගිවිසුමෙන් දැඩි දඩුවම් පැමිණවිය.

වර්සෙල්ස් ගිවිසුමෙන් ජර්මනියට දැඩි දඬුවම් පැමිණ වූ ආකාරය

  1. ජයග‍්‍රාහී රටවලට විශාල වන්දි මුදලක් ගෙවීමට ජර්මනියට සිදු වීම.
  2. හමුදා තබා ගැනීම හා අවි ආයුධ නිෂ්පාදනය සඳහා ජර්මනියට සීමා පැමිණවීම.
  3. ජර්මනිය ප‍්‍රංශයෙන් අල්ලාගෙන තිබූ ඇල්සාස් හා ලොරේන් ප‍්‍රදේශ යළි ප‍්‍රංශයට පවරා දීම.
  4. යුරෝපයෙන් පිටත ජර්මනිය සතු වූ යටත් විජිත ජයග‍්‍රාහී ජාතීන් අතර බෙදා ගැනීම.
  5. යුරෝපයේ පැවැති ඒකාධිපති රාජාණ්ඩු බිඳ වැටීම. පළමුවන ලෝක යුද්ධය නිසා ජර්මන් අධිරාජ්‍ය, ඔස්ටි‍්‍රයා හංගේරියා අධිරාජ්‍ය, තුර්කි අධිරාජ්‍ය වැනි ඒකාධිපති රාජාණ්ඩු බිඳ වැටිණි. එහි ප‍්‍රතිඵල ලෙස විවිධ ජන වර්ග පදනම් කරගෙන නිදහස් රාජ්‍ය කිහිපයක් මෙම ප‍්‍රදේශවල ඇති විය.
උදා - ෆින්ලන්තය, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, හංගේරියාව

සමස්ත යුරෝපය ම ආර්ථික අතින් බිඳ වැටී නිෂ්පාදන ශක්තිය දුර්වල වීමෙන් හා භාණ්ඩවල මිල ඉහළ යාමෙන් ආර්ථික පරිහානියකට මුහුණ පෑවේ ය. යුද්ධය අවසානයේ ඇමරිකා එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍ය ලෝක බලවතුන් ලෙස කැපී පෙනුණි. බි‍්‍රතාන්‍ය නාවුක හමුදා ශක්තිය ඉස්මතු වූ අතර ඔවුන්ට අයත් යටත් විජිත සංඛ්‍යාව ද වැඩි විය.

අනාගතයේ දී මෙවැනි ව්‍යසනයකින් ලෝකය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතීන්ගේ සංගමය නමින් ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගැනීමට විධිවිධාන යොදන ලදි. ජාතීන්ගේ සංගමය 1919 පැවැත්වූ, පැරිස් සාම සාකච්ඡාවල දී, ලෝක සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම හා නැවත මෙබඳු යුද්ධයක් ඇති වීම වළක්වා ගැනීම පිණිස ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වුඞ්රෝ විල්සන් මහතා ඒ සඳහා මුල් වී ක‍්‍රියා කළේ ය. 1920. 01. 10 දින ජාතීන්ගේ සංගමය බිහි වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ආරම්භයේ දී මෙම සංවිධානයට රටවල් 42 ක් සම්බන්ධ විය.




ජාතීන්ගේ සංගමයේ රැස්වීමක්

ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ අරමුණු

  • රටවල් අතර ඇති වන වාද භේද සාමකාමීව විසඳීම
  • අනාගතයේ ලෝක යුද්ධ ඇතිවීම වැලැක්වීම
  • ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගය ගොඩනැගීම
  • කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම
  • විශ්ව සාමූහිකත්වය මගින් ලෝක සාමය සුරක්ෂිත කිරීම.


ජාතීන්ගේ සංගමය සාමය සඳහා දැරූ ප‍්‍රයත්න

ජාතින්ගේ සංගමය පිහිටුවීමෙන් පසු වසර 20 ක් පමණ කාලයක් යුද්ධ ඇතිවීම වලක්වා ගැනීමට එම සංගමය සමත් විය. සංගමය පිහිට වූ මුල් කාලයේ දී කුඩා රාජ්‍යයන් මෙන්ම විශාල රාජ්‍යයන් ද සිය අර්බුධ විසඳීමේ දී, ජාතීන්ගේ සංගමය ගනු ලැබූ තීරණවලට ගෞරවනීය ලෙස අවනත වීම එයට හේතු විය. එහි දී ජාතීන්ගේ සංගමයේ කටයුතු සාර්ථක වූ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

  • ස්වීඩනය හා පින්ලන්තය, ජර්මනිය හා පෝලන්තය, ග‍්‍රීසිය හා බල්ගේරියාව, ඉරානය හා තුර්කිය වැනි රටවල් අතර ඇති වූ යුද ගැටුම් වැලැක්වීම.
  • සරණාගතයන් පුනරුත්ථාපනය සඳහා මැදිහත්ව කටයුතු කිරීම.
  • පළමු වන ලෝක යුද්ධයෙන් පසුව ජාතීන්ගේ සංගමයේ භාරකාරත්වයට පත් කොට තිබූ යටත් විජිත පිළිබඳ අධීක්ෂණ කටයුතු සාර්ථකව සිදු කිරීම.
  • නිති විරෝධී වහල් වෙළෙඳාම හා මත්ද්‍රව්‍ය වෙළෙඳාම අඩපණ කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.

ජාතීන්ගේ සංගම් ගොඩනැගිල්ල

ජාතින්ගේ සංගමය අසාර්ථක වීමට හේතු

ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ මූලික අරමුණක් වූයේ ලෝක සාමය ආරක්ෂා කර ගැනීම හා නැවත යුද්ධයක් ඇතිවීම වළක්වාගැනීම යි. එහෙත් සංගමය පිහිටුවා වසර 20 ක් ගත වීමටත් පෙර පළමු වන ලෝක සංග‍්‍රාමයේ දී ම චූදිතයා වූ ජර්මනියේ මූලිකත්වයෙන් දෙවන ලෝක සංග‍්‍රාමය ඇති විය. නැවත යුද්ධයක් වැළැක්වීමේ ජාතීන්ගේ සංගමයේ අරමුණ බිඳ වැටුණු බව ඉන් පැහැදිලි ය. මෙසේ ජාතීන්ගේ සංගමය අසාර්ථක වීමට බලපෑ හේතු කිහිපයක් දැකිය හැකි ය.


  1. ඇමරිකා එක්සත් ජනපදය ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා නොගැනීම.
  2. ජාතීන්ගේ සංගමය ගනු ලැබූ තීරණ ක‍්‍රියාත්මක කිරීම අසාර්ථක විම.
  3. ජාතීන්ගේ සංමයේ බලවත් රටවල් අතර එකමුතු කමක් නොතිබීම.
  4. ලෝක සාමය කඩ වූ ඇතැම් අවස්ථාවල දී එම රටවලට විරුද්ධව කටයුතු කිරිමට සංගමය අපොහොසත් විම.
ඇමරිකා එක්සත් ජනපදය ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා නොගැනීම

ලෝකයේ ධනවත් රටක් මෙන් ම යුද්ධ බලවතෙකු වූ ඇමරිකා එක්සත්ජ නපදය ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා නොගැනීම එහි අසාර්ථකත්වය සඳහා බලපෑවේ ය. ජාතීන්ගේ සංගමයේ සාමාජික රටවල අවශ්‍යතාවය මත සැකසූ සංගමයේ ඇතැම් ප‍්‍රතිපත්ති පිළිගැනීමට ඇමරිකානු සෙනෙට් සභාව අකමැති විය. මේ නිසා බලවත් රටක් වූ ඇමෙරිකාව ජාතීන්ගේ සංගමයේ සාමාජිකයෙකු නොවීමෙන් එහි ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමට ද බැඳී නොසිටියේ ය. මෙයට සංගමයේ අසාර්ථකත්වයට හේතු විය. එසේ ම ලෝකයේ තවත් බලවතෙකු වූ රුසියාව ජාතීන්ගේ සංගමයෙන් ඈත් කර තැබීම ද එහි දුර්වලත්වයට හේතු විය.



ජාතීන්ගේ සංගමය ගනු ලැබූ තීරණ ක‍්‍රියාත්මක කිරීම අසාර්ථක විම


ජාතීන්ගේ සංගමය ගනු ලැබූ තීරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා සාමාජිකයන් පොළඹවා ගැනීමේ දී සංගමය අසාර්ථක විය. මෙයට ප‍්‍රධාන හේතුවක් වූයේ සංගමයේ තීරණ සාමාජිකයන් ලවා ඉටු කරවා ගැනීමට අවශ්‍ය බලයක් එයට නො තිබීම යි. මේ සඳහා යොදා ගත හැකි හමුදාවක් සංගමයට නොසිටීම හා කිසියම් සාම හමුදාවක් යොදා ගැනීමට අවශ්‍ය පොදු එකඟතාවක් ඇති නො වීම එහි දී කැපී පෙනේ.



ජාතීන්ගේ සංමයේ බලවත් රටවල් අතර එකමුතු කමක් නොතිබීම.


ජාතීන්ගේ සංමයේ සාමාජිකත්වය ලබා සිටි බලවත් රටවල් අතර එකමුතුකමක් නො තිබීමත් කිසියම් කරුණක දී ඔවුන් පොදු අවශ්‍යතාවට මුල් තැන දී තමන්ගේ අරමුණු පසුපසට ගැනීමට නොපෙළඹීමත් සංගමය මුහුණ දුන් අභියෝගයක් විය. දෙවන ලෝක යුද්ධයට පෙර ජර්මනිය ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වූ විට සංගමයේ සාමාජික රටවල් එතරම් උනන්දුවක් නො දැක්වී ය. ඊට හේතුවක් වූයේ ජර්මනිය විසින් කොමියුනිට්ස් වාදය මර්දනය කිරීම ගැන අනෙකුත් බටහිර රටවල් සතුටු වීම යි.


ලෝක සාමය කඩ වූ ඇතැම් අවස්ථාවල දී එම රටවලට විරුද්ධව කටයුතු කිරිමට සංගමය අපොහොසත් විම.

උදා 1 - ඉතාලිය විසින් ඇබිසිනියාව ආක‍්‍රමණය කරනු ලැබූ අවස්ථාවේ දී ඉතාලියට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවී ය. එහෙත් ඇබිසීනියාවට අවශ්‍ය ආධාර ලබා දීමට ජපානය අපොහොසත් විය.

උදා 2 - ජපානය මැංචූරියාව ආක‍්‍රමණය කළ අවස්ථාවේ ජපානයට විරුද්ධව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නො ගැනීම මීට තවත් උදාහරණයකි.

මෙසේ ජාතීන්ගේ සංගමය අසාර්ථක වීමේ ප‍්‍රතිඵලය වූයේ නැවත වරක් ලෝක සංග‍්‍රාමයක් ඇති වීම යි. එය දෙවන ලෝක සංග‍්‍රාමය යි.

No comments:

Post a Comment